Tuesday, August 25, 2015

අපි නොදන්නා කොළඹ ජාතික කෞතුකාගාරයේ බිතු සිතුවම් කුටියේ අභ්‍යන්තරය

 කොළඹ ජාතික කෞතුකාගාරයේ බිතුසිතුවම් කුටියේ ප්‍රදර්ශනය කර ඇත්තේ ලංකාවේ බිතුසිතුවම් වල පිටපත්ය. මෙම පිටපත් වල ඇතැම් සැබෑ සිතුවම් මේ වන විට විනාශ වී ගොස් ඇති අතර අතැම් සිතුවම් ස්වභාවික හා මානව ආපදා හේතුවෙන් විනාශ මුඛයට පැමිණ ඇත. එම නිසාවෙන් මෙම පිටපත් කෞතුක භාණ්ඩ වලට දෙවෙනි නොවන ඉතා වටිනා දේශීය දායාදයන්ය.
 මේ ආකාරයෙන් ලංකාවේ බිතුසිතුවම් රාශියක් පිටපත් ලෙස ගෙන එක් ස්ථානයක නරඹන්නන්ට දැකගත හැකි ලෙස සකසීමේ කර්තව්‍යයේදී ශිල්පීන් ලෙස කටයුතු කර ඇත්තේ ඩී එල් එල් පෙරේරා, ඩබ්ලිව් එම් ප්‍රනාන්දු, ඩී ජේ ලොකුගේ, ස්ටැන්ලි අබේසිංහ, එල් ටී පී මංජු ශ්‍රී, එස් පී චාල්ස්, ඩී ඒ අමරසිංහ, එම් එම් දයානන්ද පීරිස් ඇතුලූ මහත්වරුන් පිරිසය. බිතුසිතුවම් කුටියට ඇතුළුවන අවස්ථාවේදී ප්‍රථමයෙන්ම  ඕනාම අයෙක්ට බිතුසිතුවම් පිටපත් එම මහතුන්ගේ විස්තර කෙටියෙන් අවබෝධ කරගත හැක. මේ පිරිස, ඔවුන් සිදු කළ කර්තව්‍යන් හා එවාට අදාල වර්ෂයන් ආදී තොරතුරු මෙහි ඇතුළත්ය.
 බිතුසිතුවම් කුටිය තුළ මුළින්ම ප්‍රදර්ශනය කරනු ලබන්නේ ලංකාවේ බිතුසිතුවම් පිළිබඳව කෙටි හැඳින්වීමකි. ඒ අනුව ලංකාවේ චිත්‍ර සම්ප්‍රදාය ආරම්භ වන්නේ ‘පට සිතුවම්’ වලින් බවත් එම ක්‍රමවේදය 18 වන සියවස දක්වා පැවත එන බවත් දක්වා ඇත. ‘පට සිතුවම්’ නම් ක්‍රමවේදය පසුව බිතුසිතුවම් වලට පරිවර්ථනය වූ බවත් එහිදී පෙන්වා දෙයි. එමෙන්ම මෙම හැඳින්වීම් පුවරුව තුළින් ලංකාවේ බිතුසිතුවම් වල ඉතිහාසය පිළිබඳව කෙටි අවබොධයක් ලබා ගත හැකිය
ලංකාවේ බිතුසිතුවම් පිළිබඳව ඇති කෙටි හැඳින්වීමෙන් පසු දක්නට ලැබෙන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ගුහා සිතුවම්ය. ලංකාවේ මුල් කාලීන සිතුවම් ලෙස සලකන මෙම සිතුවම් ශෛල චිත්‍ර, ගුහා චිත්‍ර, වැදි චිත්‍ර ආදී නම්වලින් හඳුන්වයි. මෙම කොටසේ ප්‍රාථමික වැදි චිත්‍ර වල පිටපත් හතරක් වේ. මෙම සිතුවම් තන්තිරිමලය ගුහා වලින් පිටපත් කරගන්නා ලද සිතුවම්ය. මෙම පිටපත් සතරෙන් ලංකාවේ ප්‍රාථමික වැදි චිත්‍ර කෙසේ පැවතියේද යන්න අවබෝධයක් ලබා දීමට උත්සාහ දරා ඇත. අතීතයේදී මෙම සිතුවම් ඇඳීමට මානවයා පෙළඹුන ආකාරය, සිතුවම් සඳහා යොදාගත් අමුද්‍රව්‍ය හා ඔවුන් සිතුවම් කරණයෙහි යෙදුන ආකාරය පිළිබඳව පුලූල් දැනුමක් ලබා ගැනීමට මෙහිදී හැකි විය
 මෙම සිතුවම් වලින් පසුව ලංකාවේ පුරාණ බිතුසිතුවම් සඳහා යොදාගත් තාක්ෂණය පිළිබඳව සඳහන් පුවරුවක් විය. එහි දක්වා තිබුනේ විදේශිය බිතුසිතුවම් සඳහා යොදාගත් තාක්ෂණය එය ලංකාව්දී දැකගත හැකි ආකාරය හා එම තාක්ෂණය ලංකාව තුළ පරිණාමය වූ ආකාරයයි. සැබැවින්ම එම පුවරුව සීගිරි බිතුසිතුවම් වෙනුවෙන් කෙරුණ පෙර හැඳින්වීමක් වන් විය. ඉන් පසුව සීගිරි සිතුවම් පිළිබඳව හැඳින්වීමක් දැකගත හැකිය. මෙහිදී ප්‍රථමයෙන්ම සීගිරි බිතුසිතුවමි පිළිබඳව ඉදිරිපත්ව ඇති මතවාද හා එම මත පළ කරන ලද පුද්ගලයන් පිළිබඳව දක්වා ඇත. ඉන් පසුව සීගිරි සිතුවම් පිළිබඳව කෙටි හැඳින්වීමක්ද එම සිතුවම් වලට සමාන විදේශීය නිරිමාණ පිළිබඳවද තොරතුරු මෙහි ඇතුළත්ය. මේ ආකාරයෙන් දැනුවත් කිරීම් පුවරුවක් මඟින් කරුණු දක්වා සිතුවම් පිළිබඳව කෙටි අවබෝධයක් ලබා දී සීගිරි බිතුසිතුවම් වල පිටපත් කීපයක් අධ්‍යනය කිරීමට කෞතුකාගාරයේ මෙම කුටියෙන් ඉඩ සළසා ඇත
 සීගිරි බිතු සිතුවම් අයත් වන්නේ අනුරාධපුර යුගයටය. මේ සමඟම අනුරාධපුර යුගයට අයත් තවත් සිතුවම් කීපයක් සීගිරි සිතුවම් අතර දැකගත හැක. ඒ අනුව අංක දොළහේදී අනුරාධපුර අභයගිරියේ දකුණුවාහල්කඩ මල් ලියකම් සැරසිළි දැකගත හැකිය. අංක පහළොවෙදී හිඳගල ලෙන් විහාරයේ ඇති බුදුන් වහන්සේ ඉන්ද්‍රසාල ගුහාවට වැඩමවීම සහ තපස්සුභල්ලූක විසින් දන් පිළිගැන්වීම යන සිතුවම දැකගත හැක. මෙය ප්‍රමාණය අතින් අන් සිතුවම් වලට වඩා විශාල සිතුවමක් සේම සිත් ඇදගන්නා සුළු සිතුවමකි
 මීළඟට පොළොන්නරුව යුගයට අයත් යයි බෙදා දක්වා ඇති සිතුවම් පිළිබඳව අධ්‍යනය කිරීමට හැක. මෙහිදී පෙර මෙන්ම පොළොන්නරු යුගයේ බිතුසිතුවම් පිළිබඳව ද හැඳින්වීමක් දැකගත හැකිය. ඒ අනුව අගනුවර අභ්‍යන්තරයේ සිතුවම් ඇති ස්ථාන ලෙස ථූපාරාමය, ලංකාරාමය, තිවංක පිළිමගෙය, ගෙඩිගේ විහාරය, ගල් විහාරය ද අගනුවරට ප්‍රත්‍යන්ත ප්‍රදේශ වල සිත-වම් ඇති ස්ථාන ලෙස දිඹුලාගල, කුඩාහල, කොටියාගල ලෙසද හඳුන්වා දී ඇත. මීට අමතරව මෙම යුගයේ සිතුවම් පිළිබඳව කෙටි හැඳින්වීමන් ලබා දීමට මෙම පුවරුවෙන් උත්සාහ ගෙන ඇත. මින් පසුව එම හැඳින්වීම අනුව අධ්‍යනය කිරීමට සිතුවම් පිටපත් කිහිපයක් දක්වා ඇත. එම සිතුවම් අතරින් අද වන විට දිඹුලාගල මාරාවීදිය ගුහාවේ සස ජාතකය දැකගත නොහැකිය. එහෙත් එම සිතුවමෙහි පිටපතක් කොළඹ ජාතික කෞතුකාගාරය සතුවීම පිළිබඳව අප සතුටු විය යුතුය
 මීළඟට තිවංක පිළිමගෙයි සැළැස්ම මෙම සිතුවම් අතර දක්වා තිබෙන්නේ සැළැස්ම හා සිතුවම් අතර ඇති දැඩි බැදීම නිසා විය යුතුය. මෙම සැලැස්මට අනුව ඇතුළුව ඇවිද යන විට යන පුද්ගලයන්ට බුදුන්ගේ අධ්‍යාත්මික ගුණ හා ජාතක කතා දැකගත හැක. මෙතුළින් ඔවුනට ජීවිතය පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගත හැක. ඉන් පසුව එම පුද්ගලයා දෙවන කොටසට ඇතුළු වේ. එහිදී ඔහු දකින්නේ දෙවියන්ගේ සිතුවම්ය. එනම් සාමාන්‍ය ජීවිතයේදී බුදු සිරිතේදී මෙන් හැසිරෙමින් යහපත්ව වසන්නේනම් ඔහුට දේවත්වය ලබාගත හැකිබව හෝ දෙවියන්ට එම පුද්ගලයාව සම වන බවය. ඉන් පසුව ඇති කොටසින් නිරූපනය වන්නේ බුදු බව පිළිබඳව ඇති සංකල්පයන්ය. එනම් ඉහත අවස්ථාවන් අනුව ජීවත් වන පුද්ගලයා බුදුන් දැත නිවන් අවබෝධ කරගන්නා බවය. මේ ආකාරයෙන් ගෘහනිර්මාණ ශිල්පය හා බිතුසිතුවම් යන අංශ දෙක එකිනෙකට බැඳී විශ්මිත නිර්මාණයක් ගොඩනගා ඇත්තේ එකළ සිටි නිිර්මාණශිල්පීන් එක්ව සාමූහිකව තම නිර්මාණයන් ගොඩනැංවූ නිසාය. මේ ආකාරයෙන් ජීවිතයේ සැබෑ අර්ථයද කැටිකරමින් ගොඩනංවා ඇති පොළොන්නරුව තිවංක පිළිමගෙයි සිතුවම් කිහිපයක් ද කෞතුකාගාරයේ බිතුසිතුවම් පිටපත් අතර ඇත
 පොළොන්නරුව යුගයෙන් පසුව සංක්‍රාන්ති අවධිය පිළිබඳව තොරතුරු ඇතුළත් පුවරුවක් මීළඟට දැකගත හැකිය. එහි සඳහන් ආකාරයට අනුව මෙම කාලයට අයත් වන්නේ පොළොන්නරුව මහනුවර යන යුගයන් අතර පැවති යුගයන්ය. එම යුග වලදී සිතුවම් දැකගත හැකි වන්නේ ලංකාතිලකය, ඇම්බැක්කේ, ගඩලාදෙනිය, සීතාවක, බැරැන්ඩි කෝවිල යන ස්ථානයන්හිදීය. මෙම ස්ථාන වලින් පිටපත් කරගත් සිතුවම් කෞතුකාගාරයේ වේ
 මීළඟට වැදගත් වන්නේ මෙතෙක්කල් පැවති සම්ප්‍රදාය වෙනස් කරමින් පරිවර්ථනය වෙමින් පැවති සම්ප්‍රදාය වෙනස් කරමින් මහනුවර යුගයේ බිතුසිතුවම් සම්ප්‍රදාය බිහි වීමය. මෙම සිතුවම් වල ලක්ෂණ පැහැදිළි කරමින් හා මහනුවර යුගයට අයත් උඩරට හා පහතරට බිතුසිතුවම් භේදය විස්තර කරමින් මීළඟ පුවරුව නව වෙනස පිළිබඳව තොරතුරු දක්වා ඇත. එම වෙනස්කම් අධ්‍යනය කිරීමේ පහසුව කතා එම යුගයට අයත් බිතුසිතුවම් කිහිපයක් එම අංශයට අන්තර්ගත කර ඇත
 මහනුවර යුගයේ සිතුවම් වලට පසු බලි සිතුවම් සම්බන්ද කෙටි හැඳින්වීමක්ද එයට අදාල සිතුවමක්ද එහි වේ. එම සිතුවම් වලට උදාහරණ ලෙස 20 වන සියවසට අයත් ක්‍රිෂ්ණ රාක්ෂ බලිය ඇඳ ඇත. බිතුසිතුවම් වලට අමතරව පෙතිකඩ සිතුවම් කිහිපයක්ද මෙහි වේ.  පෙතිකඩ සිතුවම් ඇඳ ඇත්තේ රෙදි වලය. භික්ෂූන් වහන්සේලා ජනතාව අතරට ගොස් ධර්මය දේශනා කිරීමට පෙළඹුන බව යටත්විජිත සමයේ තොරතුරු වපින් හමු වේ. මෙවන් අවස්ථාවන්හිදී ජනතාවගේ සිත් බුදුන් වෙත පහදවාගැනීම ආදී කරුණුවලට නම්මවා ගැනීමට මෙම සිතුවම් භාවිතා කළ අතර ධර්මය දේශනා කරන අවස්ථාවේදී මෙම සිතුවම් වලින් එම ස්ථානය වට කිරීමට යොදාගෙන ඇත.  කෞතුකාගාරයෙහිද පෙතිකඩ සිතුවම් වල පිටපත් තුනක් දැකගත හැක. මෙම සිතුවම් වලින් නිරූපනය කර ඇත්තේ බුද්ධ චරිතයේ විවිධ අවස්ථාය.  මීට අමතරව මෙම කුටියේ මහනුවර යුගයේ සිතුවමින් අලංකාර කළ පේකඩ කුළුණු දෙකක් වේ
 එමෙන් ලාක්ෂා කර්මාන්තය පිළිබඳව සංකේතවත් කිරීමට එම ක්‍රමයෙන් වැඩ දමන ලද උපකරණ කිහිපයක්ද ලී කැටයම් පිළිබඳව දැක්වීමට ලී කැටයම් කිහිපයක්ද පිත්තල කැටයම් පිළිබඳව දැක්වීමට කිල්ලෝට, සඳතැටි හා තවත් උපකරණ කිහිපයක්ද මෙම කුටියේ ප්‍රදර්ශනය කර ඇත. මේ ආකාරයෙන් ලංකාවේ බිතුසිතුවම් කලාව පිළිබඳව නරඹන්නන්ට අවබෝධයක් ලබා ගැනීමට පහසු වන අන්දමින් මෙම කුටිය සැලසුම් කර ඇත. එමෙන්ම එහිදී ලංකාවේ කලාව පිළිබඳව දෙස් විදෙස් නරඹන්නන්ට පූර්ණ අවබෝධයක් ලබා දෙන්නට ඔවුන් උත්සාහ ගෙන ඇත.
    
             

1 comment:

  1. කෞතුකාගාරයේ ඇති සිතුවම් බිත්තියට මග පෙන්වන වටිනා ආලෝකයක් ලෙස මේ ලිපිය හැදින්වීමට පිළිවන්. ලංකාවේ සිතුවම් කලාව හදාරන්නන් හට මෙන්ම ලක් ඉතිහාසයට ආදරය කරන කා හටත් උක්ත සිතුවම් බිත්තිය බෙහෙවින් ප්‍රයෝජනවත් බවයි මගේ හැඟීම. කුඩා කල කෞතුකාගාරයේ මෙකි සිතුවම් බිත්තිය මාද දැක ඇතිමුත් එහි නියම වටිනාකම නම් මේ වන තුරු නිසි ලෙස නොවැටහිණි.
    සොයුරියට ඉදිරියටත් මෙවැනි වටිනා ලිපි පල කිරීමට සුභ පැතුම්...!!!

    ReplyDelete